පළමු දවස
රෑ දහය පහුවෙලා. ගෙදර සේරම නිදි - මා හැර. කළුවරයි. නිශ්ශබ්දයි. මුළු ලෝකයම දිග ගමනක් ගිහින් ගමනාන්තයට සේන්ඳුවෙලා ඇන්ජිම නිවලා දැම්මා වගේ. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවෙලා ඉන්න මට දැනුනේ අවුරුදු හතරකට පස්සේ මමත් ඇන්ජිම නිවලා කියලා.
අම්මයි නංගියි කටුනායක ආවෙ නෑ. මල්ලී විතරයි මාව එක්ක එන්න ඇවිත් හිටියේ. මට මතක ‘පෙන්දා’ වගේ නෙවෙයි දැන් මල්ලී හොඳ උස මහත තරුණයෙක්! නමුත් හිනාව ඉස්සර වගේමයි. මම වටපිට බැළුවා.
“අම්මලා ආවෙ නෑ?”
“නෑ… මං කටුබැද්දේ ඉඳන් ආවේ, යාළුවෙකුගෙන් කාරෙක ඉල්ලගෙන. ගෙදර ගිහින් එනවට වැඩිය හොඳයි කියලා හිතුනා මෙහෙන් එක සැරේම යන එක… පොඩ්ඩක් ඉන්ට…”
මල්ලී කටහඬ වෙනස් කරලා ආයෙත් කතාකළේ ගැහැනු කටහඬකින්.
“ආනේ… ලොකු පුතා කෙට්ටු වෙලා!”
ආයෙත් සාමාන්‍ය කටහඬින්, පරණ පුරුදු හිනාවත් එක්ක.
“අම්මා ඉස්සරවෙලාම කියන්නේ ඒක. දැන් හිතට හොඳද?”
“නිකම් පලයන් බං! … හුඟක් වෙලා මෙතන කැරකෙන්න වුනාද? කස්ටම්ස් ටිකක් වෙලා ගියා…”
“නෑ. මං දැන් ටිකකට ඉස්සර ආවේ - අපි මගදී මොකවත් කාලා යමුද? බඩගිනි”
“මටනම් කන්න හම්බවුනා… හැබැයි තැඹිලිත් තියෙන තැනක නවත්තමුද?”
“ඩියුටි ෆ්‍රී සිගරට් එහෙම ගත්තද?”
“උඹ සිගරටුත් බොනවද?”
ආයෙත් හිනාව.
“ඉස්සර වගේ හොරෙන් නෙවෙයි. මං හිතුවේ අයිය ආපු ගමන්ම ඕක කතා කරගත්තම ලේසියි කියලා. අනික ආයෙ කවද්ද අපිට ‘රට බ්‍රිස්ටල්’ බොන්ට හම්බවෙන්නේ?”
මට එතකොට හිතුනා මල්ලිට ආයෙ මම ආදර්ශයක් වෙන්න අවශ්‍යතාවයක් නෑ කියලා - එයා දන්නවා එයාගෙ ජීවිතේ හසුරුවාගන්න. මම මල්ලිගෙ පිටට පාරක් ගැහුවා.
“යං එහෙනං”
මල්ලී කාරෙක එලවනවා; මම මල්ලී දිහා වගේම වටපිටාවත් බැළුවේ හිතේ පතුලෙන්ම නැගී එන සන්තෝස සිතුවිලි සමග. අළුත් රටකට ගියාම දකින සියළු දේ දැකුම්කලු වෙනවා වගේ මම අද ලංකාවත් දැක්කේ ඒ විදිහට. පාරේ යන බයිසිකල්, ගොංකරත්ත, පාර අයිනේ පෙට්ටි කඩ, බල්ලෝ, මීහරක් ඉන්න කුඹුරු, පොල් පුවක් අරඹ … මේවා අවුරුදු හතරකින් නොදුටු මගේ රටේ සංකේත. “ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි” නැතිවුනාට මේවා මට ඇති. මට පුරුදු ලංකාව. ඔස්ට්‍රේලියාවේ කොපමණ සතුටින් හිටියත් ඒක ‘මගෙ ගම’ නොවන බව මට දැන් තේරෙනවා. මල්ලී කඩයක් ලඟ වාහනේ නවත්වනතුරු අපි කතා නොකරේ මම ධ්‍යානයකට සමවැදිලා වගේ හිටපු නිසා වෙන්න ඇති.
“මටනං කන්ට ඕනෑ… අයියත් මොනවත් කනවද?”
“වඩේ එකක්? පස්සේ තැඹිලි බොමු”
ඒ තරම් රස වඩේ එකක් මම කවදාවත් කාලා නෑ කියලා මට හිතුනා. හැපුන මිරිස් කෑල්ලට මාව අතීතෙට ගෙනියන්න සමත්වුනා. මල්ලී ඉඳිආප්ප මහසෑයක් නටබුන් කළේ මාසෙකින් යමක් නොකෑ කෙනෙක් වගේ. ලංකාවේ දවල් කෑම මම ඔස්ට්‍රේලියාවේ කාපු සැන්ඩ්විච් එකට වඩා වෙනස් බව මට කියා දෙන්න මල්ලිට පුළුවන්වුනා.
තැඹිලි වලින් පස්සේ අපි දෙන්නම ‘රට බ්‍රිස්ටල්’ දෙකකුත් බිව්වේ හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ. මල්ලී කරෙකට නැග්ගේ සතුටු හිනාවකින් මුව සරසාගෙන.
“දැන් යං… තව පැය දෙකක් විතර යයි”
…………………………..
“ආ…නේ… ලොකු පුතා කෙට්ටු වෙලා!”
අම්මගෙ වචනෙට මල්ලී මා දිහා බලලා හිනාවුනා. මම අම්මට දනගහලා වැන්දේ හිනා මුහුණින්.
වෙලාව හතර පහුවෙලා; තේ වෙලාව. හැබැයි වෙනදා වගේ නෙවෙයි - කෑම මේසේ උඩ කොකිස්, වැලි තලප, අග්ගලා, කෙසෙල් ගෙඩි වැහි වැහැලා.
“ලොකයියා තේ වලට ඉස්සර මූණ සෝදා ගන්ට ඕනද?”
“උඹ තාම මෝඩ ප්‍රශ්න අහනවා!”
මම නංගිගෙ කරට උඩින් අත දාලා ලඟට ඇදගත්තා.
කොයි තරම් මුහුණ කට සෝද ගන්න ඕනෑකම තිබුනත් පවුලේ අනික් අය ඉන්න මේසේ ලඟින් ඉවත් වෙන්න මම කැමතිවුනේ නෑ. අපි හතරදෙනා පැයක් විතර ආ ගිය කතා, ඕප දූප, නෑදෑ තොරතුරු වලට කැප කරා. අම්මා හිටියා වගේමයි - කඩිසරයි, ‘බොරු ශෝක්’ නෑ. නංගී හැඩයි, කතාවට දක්ශයි. නංගියි මල්ලියි කියපු බොහොම දේවල පරණ විහිළු ගෑවිලා තිබුනා. මට මතකයි අපෙ පවුලේ වෙන මොකක් නැතිවුනත් විහිළු වලින්නම් කිසි අඩුපාඩුවක් නෑ.
“ගෙදර ආවා කියලා සන්තෝසද?”
“ඇයි අම්මා එහෙම ඇහුවේ?”
“නෑ… වැඩිය සද්ද නැතුවට…”
“මේ දෙන්නා ඉන්න තැනක කොහොමද අම්මා මං කට දාන්නේ? බදුලු කෝච්චියට අහුවුනා වගේ; එහෙම්මම ඉන්න එක ලේසියි! … අම්මා දන්නෙ නෑ මම කොච්චර සන්තෝසෙන්ද ඉන්නේ කියලා. ගියමාස කීපෙම බලාගෙන හිටියේ කවද්ද එන්නේ කිය කියා!”
“ඇයි අප්පා එහෙ හොඳ නැද්ද?”
“අපෝ නෑ! නියම රට. මිනිස්සුත් හොඳයි ජීවිතෙත් ලේසියි… නමුත් ඒක මගෙ ගම නෙවෙයි”
ඊට පස්සේ විනාඩියක විතර නිහඬක් ඇතිවුනා. ඒක බිඳ දැම්මේ මල්ලී.
“රෑ වෙන්ට ඉස්සර ඇලෙන් නාලා එමුද?”
……………………….
දුම්රියපොලේ රැකියාවේ පළවෙනි දවස ඉවරයි!
අද උදේ හයයි කාලට මයිකල් ආවා. අපි දෙන්නම වහාම පිටත්වුනේ හතට ඉස්සර වැඩපොලේ ඉන්න ඕන නිසා. මයිකල් නිලධාරි ඉන්න කාමරේ පැත්තට යවලා මම පෝටර්ලගෙ කාමරේ පැත්තට ගියා.
“හා… ලාලිත්ක-මාරා… ඒක හරිද?”
“අ.. හරි… හැබැයි සේරම මට කතා කරන්නේ ලලිත් කියලා”
“හොඳයි… ඒක ලේසියි… මම ඉයන්. ලලිත්ගෙ බොස්. මෙන්න රස්සාවේ නීති. ඔයා මට කතා කරන්නේ ඉයන් කියලා; මම ඔයාට කතා කරන්නේ ලලිත් කියලා. ලලිත් උදේ හතට වැඩ පටන් ගන්නේ - හතයි පහට නෙවෙයි; හතට. තේරෙනවද? දහයට උදේ තේ වලට විනාඩි පහලවක් ලැබෙනවා; දොලහ හමාරට දවල් කෑමට විනාඩි තිහක් ලැබෙනවා… නමුත්… නමුත් කවදාවත් වැඩක් බාගෙට නවත්තන්න බෑ තේ වෙලාව, කෑම වෙලාව කියලා - හරිද? හොඳට හරියට වැඩ කරනවානම් මගෙන් කරදරයක් වෙන්නෙ නෑ… මම දකිනවානම් ලලිත් වැඩට හොරයි, එහෙම නැත්නම් කාලේ නාස්ති කරනවා කියලා… රස්සාව එතනින් ඉවරයි. එදා පඩියත් එක්ක ගෙදර යවනවා… මේ නිවාඩුවේ දැනට තුන් දෙනෙක් එහෙම ගෙදර යැව්වා… අනික් අතට හොඳට වැඩ කරනවානම් සමහරවිට අතිකාල දීමනා සමග නිවාඩු දවස්වල වැඩ කරන්නත් හම්බවෙයි… ප්‍රශ්නයක් තියෙනවානම් කෙලින්ම මා ලඟටයි එන්නේ - අනික් පෝටර්ලා ලඟට නෙවෙයි… තේරෙනවද?”
“ඔවු ඉයන්!”
“හොඳයි අද පළවෙනි වැඩේ මේ වේදිකා තුන අතුගාලා කුනු බක්කි අස්කරලා කුනු සේරම අර කොනේ බින්වලට දාන එකයි… අවශ්‍ය උපකරන අර රාක්කියේ. යමක් කරන්න දන්නෙ නැත්නම් ඉස්සරවෙලාම අහගන්න එක හොඳයි”
“අ.. ඉයන්… කොස්සකින් අතුගානවද වැකියුවම් ක්ලීනර් එකක් පාවිච්චි කරනවද?”
“හොඳ ප්‍රශ්නේ… හොඳ උත්තරේ මෙන්න - කොස්ස. සද්ද නෑ, වේදිකාවේ ඇවිදින අය මගාරන්න ලේසියි. වේදිකාව සුද්ධ කරන බව එහෙ මෙහෙ ඇවිදින අයට නොදැනෙන තරමට හොඳයි… ඔය වැඩේට පැයක් විතර යයි - මම වැඩේ හොඳද කියලා පරීක්ෂා කරලා බලනවා අටට විතර…”
ඉයන්ගේ උපදෙස් පැහැදිලියි. රස්සාව රැකගන්න නම් ඒවා අකුරට පිළිපදින්න වෙන බව මට දැනුනා.
උදේ වරුවේ කළ වැඩ ඒ තරම් ඇඟ වෙහෙසන ඒවා නෙවෙයි. වේදිකා වගේම කාමර, ජනෙල් දොරවල්,මේස පුටු, වැසිකිලි වැනි දේ දිනපතා පිරිසිදු කෙරුනා. කොසු, බුරුසු, රෙදිකෑලි වගේම විෂබීජනාශක, පිරිසිදු කිරීමේ දියර සහ වතුර පිරවූ ඉසින බෝතල පාවිච්චිය අමාරු වුනේ නෑ. මට දැනුන එකම අමාරුව වූයේ වැඩි කතාවක් නැතිවීමයි. උදේ තේ වෙලාවෙත් “හලෝ” කියනවා හැර මට කිසි කෙනෙක් කතාකළේ නෑ. දවල් කෑම වෙලාවේ මම කඩෙන් ගත්ත සැන්ඩ්විච් එක හපමින් නිලදාරි කාර්යාල පැත්තට ඇවිද්දේ මයිකල් වත් හමුවේදයි හිතමින්. මුළු දුමිරියපොල වටාම ඇවිද්දත් මයිකල් හිටියෙ නෑ. සමහරවිට මිනිහට රස්සාවක් නොලැබෙන්න ඇති කියලා මට දුක හිතුනා.
“ලලීත්… කොහොමද උදේ වරුව?”
ඉයන් මා දෙස ආවේ කාර්යාල පැත්තේ ඉඳන්. මම හොරෙන් වෙලාව බැලුවේ කෑම වෙලාව මට නොදැනීම ඉවරවෙලාද යයි හිතමින්.
“ප්‍රශ්නයක් නෑ…”
“හොඳයි… එකට ඉන්ටස්ටේට් වේදිකාවට ගිහින් තුනේ සිඩ්නි කෝච්චියට බඩු පටවන්න. එහෙම්ම තුනට ගෙදර යන්න පුළුවන් - හෙට උදේ ආයෙත් මෙහෙ”
“තැන්ක්යූ ඉයන්”
මගෙ දවස ගෙවෙන හැටි මට හිතාගන්න පුළුවන් - වරුවක් නගරාසන්න දුම්රිය වේදිකාවල; වරුවක් නගරාන්තර වේදිකාවේ. එකක්වත් අමාරුවෙන පාටක් නෑ.
මම හවස හයට විතර මයිකල්ට ටෙලිෆෝන් කරා.
“මොකද වුනේ ඉන්ටවිව් එකේ”
“මං බලාගෙන හිටියේ ලලිත් ටෙලිෆෝන් කරයි කියලා. මම ඔහාට කෝල් කරා හැබැයි කවුරුත් ගත්තෙ නෑ”
“මේක මුළු තට්ටුවටම තියෙන ටෙලිෆෝන් එක - හුඟක් වෙලාවට කවුරුත් ඇහුනෙ නෑ වගේ ඉන්නවා! ඇයි හදිස්සියක්ද කෝල් කරේ?”
“නෑ - ලලිත්ට තැන්ක්යූ කියන්න. මට ටුවොන්ග් ස්ටේශන් එකේ රස්සාව හම්බවුනේ - ගෙදර ඉඳන් පයින් යන්න එන්නත් පුළුවන්! තැන්ක් යූ ලලිත් - මම ඔයාට බීර එකක් නයයි!”
“එකක්?”
අපි දෙන්නම හිනා වෙලා කතාව නැවැත්තුවා.
රෑට කන්න යමක් ලෑස්ති කරන්න මට කම්මැලි හිතුනා. හැබැයි පාන් කෑල්ලක් කාලා මදි - දවල්ටත් සැන්ඩ්විච් එක විතර නිසා. හැමදාම දවල්ට කඩෙන් කනවට වැඩිය හොඳයි වගේම ලාබයි ගෙදරින්ම මොකවත් හදාගෙන ගියොත් කියලා හිතුනේ ඒ වෙලාවේ. ඒ කියන්නේ දැන් කඩේ යන්න වෙනවා රෑට කන්නයි දවල් කෑම හදන්නයි අවශ්‍ය බඩු ගන්න.
මට හිතුනා නීලගෙනුත් අහන්න කඩෙන් මොනවත් ඕනද කියලා. මම මල්ලකුත් අරගෙන පහලට බැහැලා නීලගෙ දොරට තට්ටු කරා.
“ලලිත් කීයටද ගෙදර ආවේ? මම බලාගෙන හිටියේ කියන්න - ඇඩිලේඩ්වල ළමයෙක් උත්තරයක් එවලා තියෙනවා අපෙ දැන්වීමට!”
මම නීලා බදාගත්තෙ නැතුවා විතරයි; ඒ තරම් සන්තෝසයි තවත් අපෙ ජාතියේ කෙනෙක් ඔස්ට්‍රේලියාවේ සිටීම ගැන,
“නියමායි! ඕන ඔට්ටුවක් අර නීලගෙ සිංහලෙන් “ශ්‍රී ලංකා” කියලා දාපු පින්තූරේ තමා වැඩ කරන්න ඇත්තේ!”
නීලා හිනාවුනා.
“ඇත්ත තමා. තිලකා කිව්වේ එයා ඇඩිලේඩ් යුනිවසිටි නෝටිස් බෝඩ් එකේ එක සැරේම දැක්කේ ඒකලු. කෙල්ලගෙ නම තිලකා පීරිස්; තව විස්තර ටිකක් එවපු ෆැක්ස් එකේ තියෙනවා. මම ලලිත් එනකම් උත්තරයක් ලියන එක කල්දැම්මා”
“කිසි දෙයක් ලිව්වෙ නැද්ද - අපිට තේරෙනවා කියලවත්?”
“මම වහාම උත්තරය ඇරියා; හෙට විස්තර එවනවා කියලා…”
“රයිට්! වෙල් ඩන් පාට්නර්! මම කඩේ යනගමන්… නීලට කඩෙන් මොනවත් ඕනද අහන්න ආවේ. රෑට කන්නත් මොනවත් ගන්න ඕන. මං ආපහු ආවම බලමුද මොනවද එයාට කියන්නේ කියලා? මේක මං හිතුවටත් වැඩිය මාරයි!”
නීලත් පෙන්නුවේ සතුටු මුහුණක්.
“යං මාත් එනවා කඩේ පළතුරු ටිකක් ගන්න. යන ගමන් මේක සාකච්චා කරගන්නත් පුළුවන්”
……………………………..
ඇලේ වතුර සීතලයි. ඇඟට හරිම සනීපයි. අපි නාපු පිහිල්ලට ඒ වෙලාවේ ගමේ කවුරුත් ආවෙ නෑ. ඒ නිසා මල්ලිටයි මටයි කටුබැද්ද ගැනයි, අම්මගෙ රස්සාව ගැනයි, නංගිට ගුරුපත්වීමක් ගැනයි කිසි බාධාවක් නැතුව සාකච්චා කරගන්න පුළුවන්වුනා. මම මගෙ හිතේ තිබුන අදහස් සේරම නිරාවරණය කළා. මට දැනුනේ මල්ලිත් කැමතියි අම්මා අඩුවෙන් වැඩ කරනවට.
“අයියා කියන්නේ, අම්මා තවම ලැබෙන පඩිය වගේ දහගුනයක් මහන්සිවෙනවා. අනික ගමනට යන වෙලාව? අක්කත් කියන්නේ ඒකයි. නමුත් අක්කා කැමති නෑ කෙලින්ම අම්මට ඒක කියන්න, එයාට තවම පත්වීමක් නැති නිසා. එන ජනවාරියේ ලැබෙයි කියලා තමා ඉන්නේ හැබැයි මොන කැබිතිගොල්ලෑවකට හම්බවෙයිද දන්නෙ නෑ!”
“හ්ම්… එතකොට මල්ලිගෙ වියදම්?”
“ඒවගෙන් ප්‍රශ්නයක් නෑ. මම පොඩි රස්සාවක් අල්ලගත්තා මොරටුවේ එන්ජිනියරින් කොම්පැනියක; සතියට පැය ගානක්. වැඩ හොඳටම බේසික් හැබැයි ගෙවීම් නරක නෑ”
“වෙල් ඩන් චුට්ටි! මම එහෙම බම්බුවක්වත් කරේ නෑ - අම්මා තමා ගෙව්වේ සේරටම. ඉඩම් නැත්තම් අපිට ඔය කිසි දෙයක් කරන්න හම්බවෙන්නෙ නෑ! … මට ඔස්ට්‍රේලියාවේ යන්න ඉඩමකුත් වික්කා - අපි සේරගෙම ඉඩම මගෙ වැඩකට සම්පූර්ණෙන් පාවිච්චිවුනේ…”
“අයියා හිතන්නේ අක්කයි මමයි ඒ විදිහට හිතනවා කියලද? අයියට පිස්සු. අපි මුදලාලිලා නෙවෙයි, රුපියල් වලින් විතරක් වටිනාකම මනින! අයියා ඉගෙන ගත්ත දේ මනින්ට අක්කර වලින් බෑ”
මල්ලිගෙ කරට උඩින් අත දාගෙන මම ගෙදර දිහාට එනවා ඉස්සරහ සාලේ ඉඳන් අම්මයි නංගියි බලාගෙන හිටියේ හිනා මුහුණින්.